වර්තමානය වන විට ජංගම දුරකථනය ඔස්සේ සෑම නිවසක්ම පාහේ අන්තර්ජාලය හා බැඳී පවතී. සමාජ මාධ්‍ය ජාලා සමඟ සැරිසරමින් ලොව කොහේ සිටියත් එකිනෙකා සමඟ සමීපව ඇසුරු කිරීමට මිනිසාට පහසුකම් ලැබී ඇත. අපේ ළමා පරපුරද අන්තර්ජාලය හා බැඳී ඇති අතර, මෑත කාලයේ ඇතිවූ කොවිඩ් 19 තත්වය නිසා පාසල් වසා දැමීම හේතුවෙන් බොහෝ දරුවන් නිවසේ සිට අධ්‍යාපනය හැදෑරීමට යොමුව ඇත.දරුවන්ට අන්තර්ජාලය සමීප කරනවා සේම ඒවායේ අහිතකර බලපෑම් වලින් ආරක්ෂා කර ගැනීමද කළ යුතුම වන්නේය.
බොහෝ දෙමාපියන්ට අන්තර්ජාල භාවිතය පිළිබඳ දැනුමක් නොමැති අතරඅවුරුදු 40 - 45 වැඩිහිටියන්ගේ පරිගණක සාක්ෂරතාවය 20%කි. නමුත් ලංකාවේඅවුරුදු 15 - 19 දරුවන්ගෙන් 61% පරිගණක සාක්ෂරතාවයෙන් යුතු වේ. දරුවන් හා වැඩිහිටියන් අතර දැනුමෙහි පවතින මෙම වෙනසනිසාම දරුවන් සමාජ විරෝධී කටයුතු වලට නැඹුරුවීම(Antisocial Behaviors), අන්තර්ජාල අපයෝජනවලට සහ හිංසාවන්ට ගොදුරු වීම (Cyber bulling & Crimes) වැනි අහිතකර තත්වයන්ට ළමුන් මුහුණ දී ඇත.
දුරකථනය, පරිගණකය ආදී උපාංග වලට දැඩිසේ නැඹුරුවීමඇබ්බැහිවීමක් ලෙස හදුන්වාදිය හැකි අතරමත්පැන්වලට, සිගරට්වලට ඇබ්බැහිවීම් පමණක් නොව වෙනත් මත්කුඩු වලට ද ඇබ්බැහිවූවන් පිලිබඳව අපි දන්නෙමු.මාධ්‍ය හා අන්තර්ජාලය සමඟ ද ඇබ්බැහිවූවන් වැඩිවී ඇති නමුත් එය ඇබ්බැහියක් ලෙස තවමත් සමාජය හඳුනන්නේ නැත.එය අවාසනාවන්ත තත්වයකි.
අන්තර්ජාතික වශයෙන් පිළිගන්නේ මෙයද එක්තරා රෝගයක් බවයි. (Internet Addiction Disorder)එය ඇබ්බැහිවිමක් ලෙස නම්කොට මානසික රෝගයක් ලෙස නම්කර ඇතත් අනෙක් මානසික රෝගයන් සඳහා ඖෂධ භාවිතාවෙන් සහ මානසික උපදේශනයෙන් රෝගීන් සුවපත් කල හැකි නමුත් මෙම චර්යාත්මක නතුවීම සඳහා ඇත්තේ මානසික උපදේශනය පමණි.
නව යොවුන් වියේ දරුවන්ගේ පෞරුෂය මෙන්ම ජීවිතද වනසාලන මෙම අන්තර්ජාල අවභාවිතය සිදුවන්නේ කෙසේද යන්න විමසා බැලීම වැදගත් වේ. වීඩියෝ ගේම් (Video gaming / Gambling), ලිංගික චර්යා නැරඹීම් (Cybersex) හා සමාජ ජාලා (Social Media) වශයෙන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන දරුවන් ඒවාට ඇබ්බැහි වන බව හඳුනාගෙන ඇත.
නමුත් වර්තමානය වන විට මෙම තත්වය බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති බව විශ්වාස කළ යුතුය. එසේම අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් ලක්ෂ 20 පමණ නාඳුනන පුද්ගලයින් හා සම්බන්ධ වන බව ද සොයාගෙන ඇත.
අප රටෙහි ළමුන්ගෙන් ලක්ෂ 23ක් පමණ අන්තර්ජාලය හා සම්බන්ධ වන බවත්, සාමාන්‍යයෙන් ළමයෙකු අන්තර්ජාලයට පිවිසෙන වයස අවුරුදු 13 බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (2018) පෙන්වා දෙයි. නමුත් වර්තමානය වන විට මෙම තත්වය බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති බව විශ්වාස කළ යුතුය. එසේම අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් ලක්ෂ 20 පමණ නාඳුනන පුද්ගලයින් හා සම්බන්ධ වන බව ද සොයාගෙන ඇත.
ඉතිං ලංකාව වැනි රටක අප කුමක් කරන්නෙමු ද? අන්තර්ජාලය දරුවන්ට තහනම් කරමු ද? එවිට ලොව ජය ගන්නා අපේ දූ පුතුන්ට එක් දොරටුවක් වැසී යනු ඇත. දියුණු රටවල දරුවන් මේවා භාවිතා කිරීමෙන් මෙවැනි දේ සිදු නොවන්නේ ද? ලොව කුමන රටක වෙසෙතත් දරුවා දරුවා ලෙස ම සිතිය යුතු ය. මේ සඳහා ඇතැම් රටවල දරුවන් වෙනුවෙන් යම් යම් නීති සම්පාදනය කොට ඇත. දරුවන්ට ඉලෙක්ට්‍රෝනික උපාංග භාවිතා කිරීම කෙසේ සිදු විය යුතු ද යන්න දරුවන්ගේ සංවර්ධනයට සාපේක්ෂව තීරණය කොට ඇත. එය පහත පරිදි වේ.
වයස් කාණ්ඩය | නිර්දේශය |
---|---|
අවුරුදු 0-3 | කිසිඳු ආකාරයක උපාංග සුදුසු නොවේ. |
අවුරුදු 3-5 | ප්‍රචණ්ඩකාරී නොවන රූපවාහිනී වැඩසටහන් පැය 1ක් සුදුසු යි. (දිනකට) වීඩියෝ ගේම් (ප්රචණ්ඩ හා නොවන, ඔන්ලයින්) නුසුදුසු ය. |
අවුරුදු 6-12 | ප්‍රචණ්ඩකාරී නොවන රූපවාහිනී වැඩසටහන් පැය 2ක් සුදුසු යි. (දිනකට) වීඩියෝ ගේම් (ප්රචණ්ඩ හා නොවන, ඔන්ලයින්) නුසුදුසු ය. |
අවුරුදු 13-18 | ප්‍රචණ්ඩකාරී නොවන රූපවාහිනී වැඩසටහන් පැය 2ක් සුදුසු යි. (දිනකට) වීඩියෝ ගේම් (ප්රචණ්ඩ නොවන) සීමා සහිතව පැය ½ ක් අවස්ථාව දිය හැකිය. ඔන්ලයින් වීඩියෝ ගේම් කිසිසේත් නුසුදුසු ය. දෙමාපිය වැඩිහිටියන්ගේ අනුදැනුම මත. |
මෙම අන්තර්ජාතික සම්මුතිය පිළිබඳව අප රටෙහි සැළකිල්ලක් නොදැක්වූව ද පවත්නා නීතිය තුළ දැනටමත් අන්තර්ජාලයෙන් ළමුන් සුරක්ෂිත කරගත හැකි ය. ළමා හා යෞවන ආඥා පනතේ 71 වගන්තිය අනුව මෙවන් තත්වයක් ළමුන් අපරාධයකට තල්ලු කිරීමක් වශයෙන් සැළකිය හැකි ය. එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තියට අනුව දරුවන් යොදා ගැනීම, වැරදි සඳහා අවස්ථා ලබා දීම, ඒ සඳහා පරිශ්‍රයක් නිර්මාණය කිරීම සිදු කරන තැනැත්තෙකු සඳහා වසර 10 සිර දඬුවම් ලබා දිය හැකි ය. ඒ අනුව දරුවන්ට අවශ්‍ය දුරකථන, පරිගණක ආදිය සැපයීම තුළින් දරුවන් සිදු කරන දේ පිළිබඳ සොයා නොබැලීම, ඒවාට ඉඩ ලබා දීම මෙන්ම අදාළ වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලය හරහා බෙදාහැරීම මෙන්ම ඒ සඳහා දිරිගැනිවීම ද බරපතල වරදක් වන්නේ ය.
දරුවන් විසින් අන්තර්ජාලය වැරදි ලෙස යොදා ගැනීම හෝ යමෙකු විසින් දරුවන්ව වැරදි ලෙස යොදා ගෙන සිදු කරන යම් අවැඩක් ඔබ විසින් දකින්නේ නම්, එය නරඹා තවත් අයෙකුට එය නැරඹීමට සැලැස්වීම හෝ නොසළකා හැරීම එම අපරාධයට වක්‍ර ලෙස සහය වීමකි. එනම් වගකිව යුතු ආයතන දැනුවත් නොකර එය එසේ සිදුවන්නට සහය දීමකි. එයද නීතිය ඉදිරියේ වරදකි. සමාජ ජාල මාධ්‍ය ඔස්සේ යම් යම් දේ බෙදා හැරී පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ ඒ නිසාය. එබැවින් එවැනි දෙයක් සිදු වන්නේ නම් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට (1929 ළමා උපකාරක සේවාවට හෝ 011 2778911 - 14), අන්තර්ජාල අපරාධ විමර්ශන අංශයට (011 2326979), SLCERT ආයතනය (ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම් කණ්ඩායම)(011 2691692) ට නොපමාව දැනුම් දී දැයේ දරුවන් වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න.එසේ නැත්නම්,දරුවන්ට ඉන් සිදුවන හානිය ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලය පුරාවටම දිගහැරෙනු ඇත.
මෙවැනි තත්වයන් හමුවේ අප ළමා පරපුර වැඩි වශයෙන් අක්ෂි රෝගවලට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇති අතරශාරීරික, සමාජ හා මනෝ කුසලතා වර්ධනයට වන හානිකර බලපෑම අති විශාල වේ. සෙල්ලම් කිරීමෙන් ඈත් වීම, කියවීමෙන් ඈත් වීම, සමාජ ඇසුරෙන් ඈත් වීම, පවුලේ ඇසුරෙන් ඈත් වීම, සමවයස් ඇසුරෙන් ද ඈත් වීම නිරායාසයෙන්ම සිදු වේ. කථාන්දර කියවීමෙන් ඈත් වීම, පරිසරයට සංවේදී නොවීම, ළමුන්ගේ අනන්‍යතා හා ස්වයංසංජානන ගැටළු, ප්‍රචණ්ඩත්වයට අධිසංවේදී වීම හා සංවේදී නොවීම, ළමා අපයෝජන හා ඒ ආශ්රිත ගැටළු මෙන්ම සෞඛ්‍යට වන බලපෑම සුළුපටු නොවේ. වැරදි පුරුදු වලට ඇබ්බැහි වීම, ළමා ස්ථූලභාවය, දියවැඩියාව වැනි රෝග තත්වයන්ට ලක්වීමේ වැඩි අවධානමක්ද පවතී.එමෙන්ම ළමයින් වැඩිහිටිකරණයට නතු වීම පිළිබඳ වැඩිහිටි ප්‍රජාව තුළ ඇත්තේ නොරුස්සන සුළු භාවයකි. ළමුන් එසේ හැසිරෙන්නේ මාධ්‍ය ඔස්සේ ලැබෙන අත්දැකීම් හරහා ය.
නිසි දේ නිසි කලට නිසි ලෙස කරන්නට ඔවුන්ට මඟ පෙන්වමු. එසේ මඟපෙන්වීමෙන්, නිරන්තර අධීක්ෂණයෙන් හා සෙනෙහස දැක්වීමෙන් දරුවන්ගේ ලෝකය සොඳුරු කළ හැකිවා මෙන්ම, වැඩිහිටියන් එම යුතුකම් පැහැර හැරීමෙන් දරුවන්ගේ ලෝකය අඳුරු විය හැකි බව සිහිපත් කරනු කැමැත්තෙමි.
විශාඛා මුණසිංහ (Sp. Psychology, Dip in Counseling, PGD in Child Protection)
දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, දි.ලේ.කා., මහනුවර
ජංගම දුරකථන, ටැබ් පරිගණක වැනි ඩිජිටල් උපකරණ භාවිතයෙන් හා අන්තර්ජාලයෙහි වැඩි වේලාවක් සැරිසැරීම හේතුවෙන් ළමා මනසට සිදුවන හානිය පිළිබඳව ඔබ දැනුවත් ද?
ජංගම දුරකථනයට එදිනෙදා අපේ ජීවිතවල හිමිව ඇත්තේ අතිශය වැදගත් ස්ථානයකි. මානව ඉතිහාසයේ සාමාන්‍ය මිනිස් ජීවිත වලට අතිශයින් සමීප වූ එකම ඉලෙක්ට්‍රොනික උපාංගය ලෙස ජංගම දුරකථනය හඳුන්වා දිය හැකිය. සාපේක්ෂව ජංගම දුරකථනයේ සම්ප්‍රාප්තිය මෑත කාලීනව සිදු වූවත්, එහි භාවිතය ලොව පුරා වෛරසයක් මෙන් ගුණනය වෙමින් පැතිර යන්නේ එහි ඇති මිලෙන් අඩුකම, ප්‍රමාණයෙන් කුඩා වීම හා සපයනු ලබන පුළුල් පරාසයක සේවාව නිසාය. පෞද්ගලික සබඳතා මෙන්ම රාජකාරී කටයුතු සඳහා ද මැදිහත් වෙමින් සන්නිවේදනයේ බල මහිමයෙන් මිනිසාගේ කටයුතු වඩාත් පහසු කරවන ජංගම දුරකථනයේ වත්මන් පාරිභෝගිකයන් සංඛ්‍යාව දළ වශයෙන් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වේ.ජංගම දුරකථනය හෝ ටැබ් පරිගණකය මඟින් මිනිසාට ඇති විය හැකි අහිතකර සෞඛ්‍ය බලපෑම ගැන කතිකාවක් ලෝකය පුරා ගොඩනැඟෙන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ සංඛ්‍යාත්මක අගයයි.
සාමාන්‍යයෙන් ජංගම දුරකතනයකින් මොළයට ඇති කරනු ලබන බලපෑම ආකාර දෙකකට වර්ග කරනු ලබයි. ඒ විකිරණය නිසා මොළයේ පටක ආශ්‍රිතව උෂ්ණත්වය ඉහළ යෑම නිසා සිදුවන තාපමය බලපෑම් (Thermal Effects) හා උෂ්ණත්වයට අදාළ නොවන වෙනත් හේතූන් නිසා සිදුවන තාපමය නොවන බලපෑම් (Non Thermal Effects) ලෙසය. සාමාන්‍යයෙන් වූ සීමාවන්ට යටත්ව පිළිගත් ජංගම දුරකතන සමාගම් වලින් නිපදවන දුරකතන මගින් Thermal Effects ගණයේ හානියක් සිදුවිය නොහැකි නමුත්, අද වෙළදපොළේ දක්නට ඇති ප්‍රමිතියකින් තොර දුරකථන සදහා මේ ප්‍රකාශය නිවැරැදි නොවේ.
"දරුවෙකු ඉපදී තුන්වන විය සම්පූර්ණ වීමට ප්‍රථම දෙමාපියන් ඔවුන්ට ඩිජිටල් උපකරණ ලබා දීම සහ ප්‍රවේගකාරී කාටූන් නැරඹීමට ඉඩ ලබා දීම නිසා ළමුන් සැබෑ නොවන වීර කතා වලින් යුත් සිහින ලෝකයක ජීවත් වීමට පෙළඹෙන බව" කැලණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපති වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා විසින් පවත්වන ලද පර්යේෂණයකට අනුව එතුමා විසින් ප්‍රකාශ කර තිබේ. ළමුන් පමණක් නොව ගර්භණී මව්වරුන් දවර්තමානයේ ඩිජිටල් ලෝකයේ අතරමං වීම හේතුවෙන් පසුකලෙක ඔවුනට දාව උපදින දරුවන් සාමාන්‍ය මට්ටම ඉක්මවා විවිධ හැසිරීම් වලින් යුක්ත වන බව ඒ මහතා විසින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මීට අමතරව, "දරුවෙකු ඉපිද අවුරුදු තුන දක්වා කාලය ඒ දරුවාගේ මොළයේ වැඩි ක්රියාකාරීත්වයක් පවතිනවා. මේ කාලයේ දී අපේ දෙමව්පියෝ තමන්ගේ පහසුවට ස්මාර්ට් ෆෝන්, ටැබ්, වීඩියෝ ගේම්ස් දරුවන්ට ලබා දෙනවා. නොයෙකුත් ප්‍රවේගකාරී කාටූන් පෙන්වනවා. මේකෙන් වෙන්නේ ළමයෙක් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය තුළ මනෝ ලෝකයක ජීවත් වීමයි. අද ළමා සිත්වල ජාතික වීරයෙක් හෝ සාහිත්‍යමය දැනුමක් නෑ. ළමයි අද ඉන්නේ BEN 10, SUPER SHIVA වගේ සාමාන්‍ය ලෝකයේ කවදාවත් දකින්න නැති කෘත්‍රීම වීරයෝ එක්ක. ඔවුන් ඇවිදින්නේ හිතන්නේ පතන්නේ ඒ විදිහට.අපේ මොළය ප්‍රතික්‍රියා දක්වන්නේ ඉච්ඡානුගතව සහ අනිච්ඡානුගතව. ඉච්ඡානුගත කියන්නේ අපි සිතා මතා සිදු කරන දේ නැත්නම් උත්සාහයෙන් කරන දේ. හදිසි අවස්ථාවක දී එනම් අනතුරකට පෙර ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා වගේ නොසිතා ප්‍රතික්‍රියා දැක්වෙන්නේ අනිච්ඡානුගතව. දරුවන් මේ ඩිජිටල් උපාංග එක්ක නිතරම ඩිජිටල් රේස් යනවා. අමුතු අමුතු සත්තු එක්ක යුද්ධ කරනවා.ගෙවල් දොරවල් තාප්ප කඩා බිඳිනවා. ඒ ප්‍රවේගකාරී කාටූන් වල තිබෙන දේ නිතර නිතර මොළයට යනවා. එවිට මොළයට වැඩි වශයෙන් සිදුවන්නේ අනිච්ඡානුගතව ප්‍රතික්‍රියා දක්වන්න. ඉතින් ළමයි ඉන්නේ කොයි වෙලේ හරි පිටසක්වලින් පහර දෙයි, අමුතු සත්තු එක්ක තරඟ කරන්න වෙයි,අවි ආයුධ පාවිච්චි කරන්න වෙයි වගේ හැඟීමකින්. පොඩි දුරක් තිබෙන තැනට වේගෙන් එනවා. දොරවල් කඩා ගෙන බිඳගෙන යන්න ආස හිතනවා. මුලින් මුලින් මේ ක්‍රියාවට පමණක් හුරු වෙලා පසුව BAT MAN, SUPER MAN වගේ බලයක් ලැබෙයි කියා සිතනවා. පාසලේදීත් හැසිරෙන්නේ එහෙම. ගුරුවරුන්ගේ ශක්තියෙන් 50%ක් වැය වන්නේ මෙවැනි ළමයි පාලනය කරන්න." යනුවෙන් ද ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.
මෙවැනි දරුවන් අධ්‍යාපන කටයුතු වලට නැඹුරු කර ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වේ. මානසික ඒකාග්‍රතාව මේ දරුවන් කෙරෙන් ගිලිහී යාම නිසා විෂය කරුණු නිසි පරිදි අවබෝධ කර ගැනීමට ඔවුන්ට හැකියාවක් නොලැබේ.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වලට අනුව දරුවෙකුගේ මානසික වර්ධනය සැලකීමේ දී දරුවා ඉපදී මුල් වසර තුන කෙරෙහි දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුය. අදාළ කාලය තුළ දෙමාපියන් හෝ තම සහෝදරයෙකු කරන ආමන්ත්‍රණයක් තේරුම් ගැනීමේ හැකියාව ස්වභාවයෙන් ම දරුවෙකුට පවතී. එමෙන් ම එකවර භාෂා දෙකක් අධ්‍යයනය කිරීම ද මේ වයසේ දී හැකියාව තිබේ. වෛද්‍යවරුන්ට අනුව කථනය මෙන්ම චින්තන හැකියාව තමා කෙරෙන්ම වර්ධනය කර ගැනීමට දරුවෝ මේ කාලය තුළ දී උත්සාහ කරති. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සියයට 20ක පමණ විවිධ මානසික ආබාධ වලින් පෙළෙති. වයස අවුරුදු 14 සිට දරුවන් තුළින් එම මානසික ගැටලු උද්දීපනය වීමට පටන් ගනී. එවැනි දරුවන්ගෙන් බහුතරය ස්නායු මනෝ චිකිත්සක තත්වයන් නිසා රෝගී වූවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
"දිනකට විනාඩි 30ක් ඩිජිටල් උපාංග සමඟ දරුවෙකු කටයුතු කරන විට නිතැතින්ම ඔහුගේ මොළයේ ස්නායු පථ වෙනස් වීමකට ලක් වෙනවා.ළමයෙකුගේ මොළේ ක්‍රියාකාරීත්වය උපරිම වන්නේ ඔහු ආහාර ලබා ගන්නා අවස්ථාවේ. ඒ අවස්ථාවේ ඇති වෙන පුරුදු ලෙහෙසියෙන් අමතක කරන්න බෑ. අම්මලා මොකද කරන්නේ කෑම කවන්න අමාරු වුණාම ඩිජිටල් උපාංගයක් දෙනවා දරුවට. දරුවාගේ කුස පිරුණට ස්නායු පථ වෙනස් වන නිසා මනස විකාර රූපී තැනක නවතිනවා. ඒක දෙමාපියන්ට දැනෙන්නෙ නෑ. අවසානයේ තරුණ කාලයේ දී දරුවා සමාජයට පිළිලයක් වන තැනට එනවා." යනුවෙන් වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා පවසා තිබේ.
ජංගම දුරකථන හා "වයිෆයි" වැනි රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා සහිත පරිගණක භාවිතා කරන ගර්භනී මාතාවන්, තම කුසේ සිටින දරුවා අන්තරාදායක මට්ටමක රේඩියෝ සංඛ්‍යාත තරංග වලට (Radio Frequency Waves) නියත වශයෙන්ම නිරාවරණය කරගන්නා බවට විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත. විශේෂයෙන් ස්ත්රීන්ගේ ශ්‍රෝණි කුහරයේ පිහිටීම (Pelvic Structure) හා කලලාවරණය (කලලය වටා තිබෙන ආරක්ෂිත තරලය) මඟින් මෙම හානිකර ක්ෂුද්‍ර තරංගවලට ගැඹුරු විනිවිද යෑමකට රුකුල් දෙන නිසාවෙන්, මෙම අවදානම වඩාත් වඩාත් තීව්ර කෙරෙන බව විද්‍යාඥයින් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ. මෙම රේඩියෝ සංඛ්‍යාත තරංගවලින්, මානව සෛලවල ජාන ව්‍යුහයට පවා බරපතළ හානියක් සිදු කරනු ලබන බව පැවසේ. මානව වර්ගයාගේ ඓතිහාසික විකාශනය මෙන්ම අනාගත පැවැත්ම හෝ නොපැවැත්ම ද රඳා පවතින්නේ මෙම ජාන මතය. මෙම නූතන විද්‍යුත් උපකරණ හා උපාංග වැරදි ලෙස භාවිතා කිරීම හේතුවෙන්,අනාගත මානවයා බරපතළ සහ අද්භූත රෝගාබාධයන්වලට මෙන්ම, වඳ භාවයට ගොදුරු වීමේ අවදානමකට මුහුණ පා ඇතැයි විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබේ.
ගැබිණි සමයේදී ජංගම දුරකථන වලින් සහ රැහැන් රහිත විදුලි උපාංග වලින් නිකුත් කෙරෙන විකිරණවලට නිරාවරණය වීම, උපත ලබන දරුවන්ගේ මොළයේ වර්ධනයට ද ස්ථීර ලෙසම හානිකර ලෙස බලපාන බව අධ්‍යයන රාශියකින්ම හෙළි වී තිබේ. ගර්භනී සමයේ දී වැඩි කාලයක් ජංගම දුරකථන භාවිතා කළ කාන්තාවන්ගේ දරුවන්ට සාපේක්ෂව හැසිරීමේ අසමානතා, මතකයේ අඩු ලුහුඬුකම්, නොසන්සුන්කම්, තරහා යෑම වැනි රෝග ලක්ෂණ මතු වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බවත්, (රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දරුවාට වයස අවුරුදු 5 -7ක් පමණ වන විටය) ගර්භනී කාලයේ දී ජංගම දුරකථන රේඩියෝ සංඛ්‍යාත තරංග වලට හානිකර ලෙස නිරාවරණය වූ දරුවන්, කුඩා කල සිටම ජංගම දුරකථන භාවිතා කරනවා නම්, ඉහත කී රෝග ලක්ෂණ සියයට අසූවකින් පමණ තීව්ර වන බවත් සොයා ගෙන ඇත.
ජංගම දුරකථන හා පරිගණක උපාංග වලින් නිකුත් කොරන අහිතකර විකිරණ වලට වැඩි කාලයක් නිරාවරණය වන නූතන තරුණ පරම්පරාව එසේ නොවන අයට වඩා මොළයේ සෑදෙන දරුණු පිළිකා තත්වයක් වන, ග්ලියෝමා (Glioma) පිළිකා තත්වයට ගොදුරු වීම සඳහා පස්ගුණයක අවදානමක් දරන බව, ස්වීඩන් විද්‍යාඥයන් පිරිසක් මෑතකදී අනාවරණය කර ඇත. වර්තමානයේ දී අපේ රටේ ගැබිනි කාන්තාවන් ජංගම දුරකථනය දමා ගෙන යන්නේ කරේ එල්ලාගෙන යන හෑන්ඩ් බෑගයේ හෝ ගවුමේ සාක්කුවේ ය. එවිට ජංගම දුරකථනය පිහිටන්නේ ඇතැම් විට, කුසේ සිටින දරුවාගේ හිසට නැතහොත් හදවතට ආසන්නව විය හැකිය.
මව සහ දරුවා අතර සම්බන්ධය ගොඩ නැඟෙන්නේ, අදහස් හුවමාරු වන්නේ දරුවා මව්කුස තුළ පිළිසිඳගත් දා සිටමය. මව් කුස තුළ සිටින දරුවාට, ඔහුගේ හිස අතගානවා වැනි හැඟීමක් මව් කුස තුළදී ම දැනෙන්නට සලස්වන ආකාරයෙන් ආදරය, සෙනෙහස දැක්වීම මවකට හැකියාව ඇත. දරුවාට යහපත් සංගීතය අසන්නට සැලැස්වීම මෙන්ම, නිතර නිතර දරුවාට ආදරයෙන් කතා කිරීම ද අවශ්‍ය වේ. වර්තමානයේ දී ඇතැම් ගර්භණී මව්වරුන් පවා මත්පැන් හා සිගරට් පානය කරන අවස්ථාවන් ද අපට දැක ගත හැකිය. රාත්‍රී සමාජ ශාලාවන්හි රුය පහන් කරන මෙවැනි මව්වරුන්ට තමන්ගේ දරුවන් ගැන කිසිඳු හැඟීමක් නැත. මව්වරුන්ගේ මෙවැනි වැරදි හේතුවෙන් බිහි වෙන දරුවන් විකෘති මානසිකත්වයකින් යුක්ත වීම හා අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්නුම් කිරීම පුදුම සහගත නොවේ. මෙවැනි දරුවන් ළමා කාලයේ දී ම අපචාරයන් වෙත යොමු වී පසුව තරුණ කාලයේ දී ඔවුන්ගේ ජීවිත විනාශ කරගන්නා ආකාරයත්, අවසානයේ දී ඇතැම් විට සියදිවි හානි කර ගැනීම සඳහා ද ඔවුන් පෙළඹී ඇති බවත් අපට දැක ගත හැකිය.
දරුවන් මෙන්ම වගකීම් විරහිත මව්වරුන් සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්වය අනාගතයේ සමස්ත සමාජයට ම බලපාන බැවින්, මේ සම්බන්ධයෙන් සමාජීය වගකීමකින් යුක්තව කටයුතු නොකිරීම ගැටලු රැසක් ඇති වීමට හේතු විය හැකි බව අප විසින් අවබෝධ කර ගත යුතුය. දරුවන්ට දොස් පැවරීමට පෙර දෙමව්පියන් හා වැඩිහිටියන් ආදර්ශ සම්පන්න ලෙස ජීවත් විය යුතු ය. සමාජයට වැඩදායි දරුවෙකු බිහි කිරීම අප කාගේත් යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස ද සිතිය යුතු ය. දරුවාගේ නිවසේ පරිසරය, පාසල් පරිසරය ළමා හිතකාමී වන ලෙසින් සැකසීම සඳහා දෙමාපියන් හා වැඩිහිටියන් වැඩි දායකත්වයක් සැපයිය යුතු ය.
දෙමාපියන්, දරුවන්ටත් වඩා ජංගම දුරකථන, ටැබ් පරිගණක වැනි ඩිජිටල් උපකරණ හා අන්තර්ජාලය සමඟ වැඩි කාලයක් ගත කරමින් තමන්ගේ මනෝ ලෝකයන්හි තනිවී හුදකලාව ජීවත් වීම වෙනුවට, ඒවායින් මිදී හැකි උපරිම කාලයක් තම දරුවන් සමඟ ගත කළ යුතු ය. ළමා මනස විකෘති භාවයට පත්වන ආකාරයේ කාටූන්, ටෙලි නාට්‍ය, චිත්‍රපට ආදිය ළමයාට නැරඹීමට ඉඩ ලබා නොදිය යුතු අතර, යහපත් දේ පමණක් නැරඹීමට ඉඩ ලබා දිය යුතු ය. එමෙන්ම, ඒ සඳහා යම් කාලයක් වෙන් කළ යුතු අතර, එම කාලය තුළ දරුවා නරඹන්නේ කුමක්දැයි යන්න පිළිබඳ ද අවධානයෙන් සිටිය යුතු ය. දරුවා අන්තර්ජාලය භාවිත කරන්නේ නම්, ඒ පිළිබඳව ද දැඩි විමසිල්ලෙන් සිටිය යුතු ය. හැකිතාක්, ජංගම දුරකථන, ටැබ් පරිගණක වැනි ඩිජිටල් උපකරණයන්ගෙන් කුඩා දරුවන් ඈත් කොට තැබිය යුතුය. ඔබේ දරුවාගේ මනසට හානි දායක වන මෙවැනි දේ දරුවාගෙන් ඉවත් කිරීම තුළීන්, දරුවාගේ මනසට සිදුවන හානිය අවම කොටගෙන, යහපත් මානසික සෞඛ්‍යකින් යුතු හා නැණගුණ සපිරි යහපත් දරුවෙකු නිර්මාණය කළ හැකි වන අතර, එය හෙට දවසේ අපේ රටේ අනාගතය සඳහා වන ඉතා සුභවාදී පෙරනිමිත්තක් ද වනු ඇත.
නුවන් චන්ද්‍රසේකර
මාධ්‍ය සහකාර
තොරතුරු හා මාධ්‍ය ඒකකය
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය