දරුවා ඉගෙනීමේ කටයුතු වලට අකමැති ද...? පාසල් යන්නේ කඩින් කඩ ද...? | National Child Protection Authority
දරුවා ඉගෙනීමේ කටයුතු වලට අකමැති ද...? පාසල් යන්නේ කඩින් කඩ ද...?  Banner image

දරුවා ඉගෙනීමේ කටයුතු වලට අකමැති ද...? පාසල් යන්නේ කඩින් කඩ ද...?

වැඩිහිටියන් විසින් ලබා දිය යුතු යහපත් ප්‍රතිචාර

  • ඉගෙනීමේ කටයුතු වලට අකමැති වීමට හේතු සොයා බලන්න

     

    දරුවන් වෙනස් හරියට ඔබේ ඇඟිලි පහ වගේ. ඔවුන් හැසිරෙන ආකාරය, කතා කරන විදිය, යමක් තේරුම් ගන්නා ආකාරය දරුවාගෙන් දරුවාට වෙනස්.

    ඉතාම කීකරු දරුවන් පිරිසක් අතරේ තරමක් මුරණ්ඩු ගති පැවැතුම් තියන දරුවෙක් ඉන්න පුළුවන් එය දරුවන්ගේ සාමාන්‍ය ස්වභාවයකි.

    ඒ නිසා,

    • දරුවෙක් තව දරුවකු සමඟ සන්සන්දනය කිරීමට කිසිවිටකත් උත්සාහ නොකරන්න.
    • දරුවන්ගේ මුරණ්ඩු ගති පැවැතුම් ඉදිරියේ ඔබ කෝප වීමට ඉක්මන් නොවන්න.
    • උපක්‍රමශීලීව දරුවාට වඩාත් සමීප වී අවධානය දිනා ගන්න.

     

  • දරුවා සමඟ මනා සම්බන්ධතාවයක් ඇති කරගන්න

     

    ඔබ දන්නවා ද?

    දරුවකු සිය මවගේ කුස තුළ සිටින අවධියේ සිට බාහිරින් ලැබෙන සංවේදනයන් සඳහා සංවේදී බව

    • ඔබ කතා කරන දෑ
    • ඔබ අසන දෑ
    • ඔබ දකින දෑ

    පසු කාලීනව දරුවාගේ පෞරුෂ වර්‍ධනයට බලපෑම් කරනු ඇත.

     

  • කුඩා කළ සිට දරුවා කියවීමට හුරු කරන්න

     

    • දරුවන් කුඩා කාලයේ සිටම පත්තරවල, කතාන්දර පොත්වල තියෙන දේවල් ඔවුනට ඇසෙන්න කියවන්න.
    • එතකොට එවුන්ගේ සිත් කුඩා කාලයේ සිටම අකුරුවලට කැමැත්තක් ඇති කරන්න පුළුවන් වෙනවා.

     

  • දරුවාට ගැලපෙන ලෙසින් දරුවාගේ සාර්ථකත්වය සමරන්න

     

    • ධනාත්මක අගය කිරීම් තුළින් දරුවා තුළ අදාළ ක්‍රියාව, නැවත පෙරටත් වඩා හොඳින් සිදු කිරීමට පෙළඹවීමක් ලබා දේ.එමෙන්ම එය දරුවාගේ නිර්මාණශීලී චින්තනය (සිතාමතා යමක් සිදු කිරීමට ඇති හැකියාව) වර්‍ධනය කිරීමට ද ඉවහල් වේ.
    • තමන් යහපතක් ක්‍රියාවක් කළ විට සමාජයෙන් ඊට ලැබෙන ප්‍රතිචාරය යහපත් බව කුඩා කළ සිටම දරුවන්ට දැනෙන්නට ඉඩ හරින්න.
    • හදවතින්ම යහපත් වූ සංවේදී දරුපරපුරක් නිර්මාණය කිරීමට දෙමව්පිය, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ද දරුවන්ගේ සිත් තුළ යහපත් සිතුවිලි සංවර්‍ධනය කරන්න.
    • ඔබෙන් දරුවන්ට අවශ්‍ය ආදරය, සෙනෙහස, ආරක්ෂාව හා සැළකිල්ල ඔවුන් වෙත ලබා දෙන්න.
    • ඔබ දරුවන්ගේ කටයුතු නිසා සතුටට පත් වන්නේ නම්, නොසඟවා එය දරුවන්ට පෙන්වන්න.

     

  • අනාගත ඉලක්ක මගින් දරුවා උනන්දු කරවන්න

     

    පැහැදිලි ඉලක්කයක් පැවැතීම පුද්ගලයෙකුට මෙන්ම පවුලක ද සාර්ථකත්වයට ඉවහල් වේ.

    දරුවන්ට ඉලක්කයක් ලබා දීමේදී මේ ගැනත් සිතන්න,

    • ඉලක්ක දරුවාට ළඟාවිය හැකි ඒවා විය යුතුය.
    • ඉලක්කය දරුවාගේ මනසට අනවශ්‍ය බරක් නොවිය යුතු ය.
    • ඉලක්ක සකස් කිරීමේ දී දරුවාගේ අදහස්, කැමැත්ත විමසීමට අමතක නොකරන්න.
    • ඉලක්ක ලබා දෙනවා මෙන්ම එම ඉලක්ක වලට ළඟාවන්නේ කෙසේ ද යන්න දරුවාට තේරුම් යන පරිද්දෙන් සාකච්ඡා කරන්න, ඒ සඳහා සැළසුම් සකස් කරන්න.

     

  • දරුවා අසාර්ථක වූ අවස්ථා වලදී දරුවාව දිරි ගන්වන්න

     

    ජීවිතයේ දී අසාර්ථක වූ අවස්ථාවන් රැසක් වූවද නැවත නැවත උත්සාහ කර සාර්ථක වීමට දරුවන්ට කියා දෙන්න.

    වැදගත් වන්නේ උත්සාහය අත් නොහැරීම බව දරුවන්ගේ සිත් තුළ තැම්පත් කරවීමට කටයුතු කරන්න.

    ඔබේ අරමුණු සැමවිට සිත්හි තබා ගන්න... මන්දයත්, එය ඔබගෙන් ගිලිහුණු දා ඔබ පරදින්නේ ය.

     

  • දරුවාගේ මිතුරන් ගැනත් සොයා බලන්න

     

    මිතුරන් දරුවන්ගේ ජීවිත වලට බලපාන පිරිසක්. එබැවින් යහපත් මිතුරු ඇසුර ගැන දරුවන්ට කියා දෙන්න.

     

  • ඉගෙනුමට උචිත පරිසරයක් නිවස තුළ සකසා දෙන්න

     

    නිවස තුළ දරුවාටම වෙන්වූ ඉඩක් නිර්මාණය කර දෙන්න. එයට සුවිශේෂී තැනක් අවශ්‍ය නොවේ.නිවසේ ප්‍රමාණවත් ඉඩකඩක් නොපවතින්නේ නම්, දරුවා නිදන ස්ථානය අසළ වූවද සිය ඇඳුම් පැළඳුම්, පොත් පත් සහ අනෙකුත් උපකරණ තබා ගැනීමට ඉඩක් වෙන්කර දී එය පිළිවෙළකට හා පිරිසිඳුවට පවත්වා ගැනීමට දරුවාට මඟපෙන්වන්න.

    එවැනි දේ තුළින් දරුවා කුඩා අවධියේ සිටම පිළිවෙළට යමක් සිදු කිරීමට ඉගෙන ගනී.

    එමෙන් ම පවුල තුළ තමන් ද සුවිශේෂී සාමාජිකයකු යන හැඟීම දරුවා තුළ ඇති වීමට ද එය ඉවහල් වනු ඇත.

     

    පාඩම් කිරීමේ දී අපගේ ඇසට, කනට, හොඳින් ග්‍රහණය වන සේ පාඩම් කිරීම සිදු කරන්න.

    • මුලින් හොඳින් කියවන්න.
    • කවි වගේ දේවල් හඬ නඟා කියවන්න.
    • කියවන ලද දේ නැවත මතක් කරන්න.
    • යමක් අමතක වී ඇත්නම් පොත අරගෙන නැවත බලන්න.
    • දැන් මතකයෙන් අදාළ කරුණ පොතක ලියන්න.
    • එය රූප සටහනක් ලෙසට වූවද සකස් කර ගත හැකිය.

    අපි පාඩම් කරන ඇතැම් කරුණු කාලයත් සමඟ ටිකෙන් ටක අමතක වෙන්න පුළුවන් ඒ නිසා පාඩම් කරන කරුණු නැවත නැවත මතක් කිරීමට අමතක නොකරන්න.

     

ශික්ෂා අත් පොත
මනෝසමාජීය අංශය
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය